ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

 


ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

 

ක්ලැමීඩියා කියන්නේ ලෝකය පුරා තරුණයන් අතර තරමක් සුලබ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (sexually transmitted infection). එය ශ්‍රී ලංකාවේ එතරම් බහුල නොවූවත් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වල වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා.

chlamydia ආසාදනය ශ්‍රී ලංකාවේ 0.02% ක් පමණ ප්‍රතිශතයකින් පවතිනවා.

ක්ලැමීඩියාව යනු කුමක්ද? (What is Chlamydia?)

ක්ලැමිඩියා යනු බැක්ටීරියාවක් මගින් හටගන්නා සුලබ ලිංගික සම්ප්‍රේෂණ ආසාදනයක් (STI). මෙය Chlamydia trachomatis කියන බැක්ටීරියාව මගින් ඇතිකරන ලිංගික රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන තියෙනවා.

 

 බොහෝ ආසාදිත කාන්තාවන් සහ පිරිමින් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා සිටීමට හැකියාවක් පවතින නිසා බොහෝවිට මෙම රෝගය මගහැරී යන්නට පුලුවන් වගේම ඉක්මනින් පැතිරෙන්නත් පුලුවන්. එසේම අසාදිතයන්ට නිවැරැදි ව ප්‍රතිකාර නොකළහොත් දරුණු තත්ත්වයන් පවා ඇතිවෙන්නට පුලුවන්






Clamydia රෝගයේ ලක්ෂණ

සාමාන්‍යයෙන් ක්ලැමීඩියා රෝග ලක්ෂණ (symptoms) පෙන්වන්නේ වැළඳීමෙන් සති 1 සිට 3 දක්වා කාලයක් අතරතුරයි.

එසේ වූවත් ක්ලැමීඩියා වැළදී ඇති බොහෝ රෝගීන් තමා ආසාදිත බව දන්නේ නැ. ඊට හේතුව එය බොහෝ පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ හෝ වෙනත් සලකුණු නොපෙන්වන ආසාදනයක් වීමයි. ආසාදිත කාන්තාවන්ගෙන් 75% කට ද පුරුෂයන්ගෙන් 50% කට ද මෙසේ රෝග ලක්ෂණ නොපෙන්වනවා තිබිය හැකියි. මෙම රෝග ලක්ෂණ නොපෙනීම නිසා ම මෙය ඉතා පහසුවෙන් පැතිරී යා රෝගයක් වීමේ හැකියාව තියෙනවා.

කාන්තාවන්ගේ ක්ලැමීඩියා රෝග ලක්ෂණ (Symptoms of Chlamydia in females)

  • ගන්ධයක් සහිත අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් (Foul smelling vaginal secretion) 
  • ඔසප් කාල 2ක් අතර මැද රුධිර වහනය වීම් (Intra menstrual bleeding)
  • වේදනාකාරී ඔසප් කාල (Dysmenorrhea)
  • උණ සමග යටි බඩේ වේදනාව (Lower abdominal pain with fever)
  • සංසර්ගයේදී වේදනාව (Coital pain)
  • මුත්‍රා කිරීමේ වේදනාව (Dysuria)
  • යෝනි මාර්ගය අවට කැසීම හා දැවිල්ල (Itching of vagina)


පුරුෂයන්ගේ ක්ලැමීඩියා රෝග ලක්ෂණ (Symptoms of Chlamydia in males)

  • ශිශ්න කෙළවරින් කුඩා ස්‍රාවයන් පිටවීම (Peniel secretion)
  • වේදනාකාරී මුත්‍රා පිටවීම (Dysuria)
  • ශිශ්න විවරය අසල දැවිල්ල හෝ කැසීම (Itching of penis)
  • වෘෂණ කෝෂ ඉදිමීම හෝ වේදනාව (Scrotal pain

 

අමතර වෙනත් ලක්ෂණ

ගුද මාර්ගයේ අපහසුතා හෝ ශ්‍රාවයන් ගැලීම (pain and secretion of anal canal)
ඇස් රතුවීම වේදනාව සහ ශ්‍රාවයන් ගැලීම (Redness of eyes/ secretion of eyes)

උගුර ද ආසාදනය විය හැකි මුත් රෝග ලක්ෂණ ඇතිවන්නේ නැත.

Chlamydia රෝගය පැතිරෙන ආකාරය


අනාරක්ෂිත යෝනි (peno-vaginal sex), මුඛ (oral sex)  හෝ ගුද (anal sex) සංසර්ගයෙන් පැතිරෙන chlamydia trachomatis නම් බැක්ටීරියාවෙන් ප්‍රධාන වශයෙන් මෙය හටගනී. 

ආසාදිතයන්ගේ ශුක්‍ර තරලය (seminal fluid) හෝ යෝනි තරලය (Vaginal secreations) මගින් මේ ආසාදනය පැතිරේ. එසේම උපතේදී මවගෙන් දරුවාට ද ආසාදනය විය හැකියි.

ක්ලැමීඩියා රෝග විනිශ්චය

වෛද්‍යවරුන් ක්ලැමීඩියා විනිශ්චය කරන පරීක්ෂණ කිහිපයක් පවතියි. එහිදී පුරුෂයාගෙන් හෝ කාන්තාව ගෙන් ලබාගන්නා මූත්‍රා සාම්පලයක් හෝ පටක කැබැල්ලක් ඇසුරින් විද්‍යාගාර විශ්ලේෂණයකින් ආසාදිතයා හඳුනාගනී.

ක්ලැමීඩියා රෝගයේ දරුණු උත්සන්න වීම්

කාන්තාවන්ගේ ක්ලැමීඩියා තත්ත්ව සඳහා ප්‍රතිකාර නොකර සිටියහොත් ඔවුන්ගේ පැලෝපීය නාලවලට හානි පැමිණිය (PID) හැකි අතර ඒ නිසා මදසරුභාවය (sub fertility) පවා ඇතිවෙනවා. එසේම නොමේරූ දරු උපත් සඳහා ද මෙය බලපාන්න පුළුවන්. මවගෙන් දරුවාට බෝ වී තිබුණහොත් උපදින දරුවාට අක්ෂි ආබාධ, අන්ධ භාවය හෝ නිව්මෝනියාව වැලඳී තිබිය හැකියි.

පුරුෂයින්ගේ ක්ලැමීඩියා සඳහා ප්‍රතිකාර නොකර සිටියහොත් ශුක්‍ර නාල වලට හානි ඇතිවීම හෝ ගුද මාර්ගය ඉදිමීමට ලක් වෙන්න පුළුවන්.

පොදුවේ ස්ත්‍රී පුරුෂ සියල්ලන්ගේම Non Gonococcal Urethritis (NGU) නම් මූත්‍ර මාර්ගයේ ආසාදන හට ගත හැකියි. මෙය බොහෝවිට ගොනෝරියා (Gonorrhea) රෝගයට සමාන ලක්ෂන සහිත තත්ත්වයක් ලෙස හැදින්විය හැකියි. 

ක්ලැමීඩියා ප්‍රතිකාර


ක්ලැමීඩියා සුවකළ හැකි රෝගයක්.එය බැක්ටීරියාවකින් සෑදෙන ආසාදනයක් නිසා වෛද්‍යවරුන් ඒ සඳහා ප්‍රතිජීවක භාවිත කරනවා. මෙහිදී ආසාදිතයාට ප්‍රතිජීවක ලබා දෙන්නා සේම ඔහුගේ හෝ ඇයගේ සහකරුවාට ද ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රතිකාර ලබා දීමක් සිදු කරනවා. මෙම ප්‍රතිකාර සමග සතියක් හෝ දෙකක් ඇතුළත ආසාදනය සුව අතට හැරෙනවා. එසේ සුවයක් දැනුණත් අවසන් වන තුරු ප්‍රතිජීවක ලබා ගැනීම වැදගත් වෙනවා. 

ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ද මාස තුනකට පසු නැවත පරීක්ෂණ සිදු කර සම්පූර්ණ සුව අතට හැරී ඇතිදැයි පරික්ෂා කර ගත යුතුයි. තමාට සහ සහකරුවාට යන දෙදෙනාටම ආසාදනය නොපවතින බවට සැකහැර දැනගන්න අතුරු නැවත සංසර්ගයේ නොයෙදිය යුතුයි.

ක්ලැමීඩියා වලින් ආරක්ෂා වීම

  1. අනාරක්ෂිත ලිංගික එක්වීමකදී කොන්ඩම් (Condom) භාවිතය.
  2. සීමිත ලිංගික සහකරුවන් ප්‍රමාණයක් සමඟ පමණක් සංසර්ගයේ දීම.
  3. ආසාදිත දැයි සැකයක් පවතී නම් ආසාදනය. නොපවතින අයෙක් සමග සංසර්ගයේ නොයෙදීම
  4. සැකයක් ඇති වූ වහාම වෛද්‍යවරයෙකු හමු වීම

.

 

Comments